Monday, April 11, 2016

ජනාධිපතිගෙ නම විකුණා නම්බර් ප්ලේට් ජාවාරම යළිත් ඇක්සස් අතට

රථවාහනවලට අවශ්‍ය අංක තහඩු මුද්‍රණය යළිත් වරක් සුමල් පෙරේරා මහතාට අයත් ඇක්සස් සමාගමට ලබා ගැනීමේ සැලසුමක් දියත් කර ඇතැයි ‘සත්හඬ’ වෙත වාර්තා වේ.

වසර හතරෙන් හතරට මේ සඳහා ටෙන්ඩර් කැඳවීම සිදු කරනු ලබන අතර පසුගිය 8 වසරක් තිස්සේම අංක තහඩු මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ ඇක්සස් සමාගමය. එම සමාගම සඳහා ටෙන්ඩරය ලබා දීමට හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් අනුග‍්‍රහය දක්වා ඇත. එමෙන්ම මෙම ටෙන්ඩර්වලින් හිටපු ප‍්‍රවාහන ඇමැතිවරයකුට ද කොමිස් මුදලක් හිමි වී ඇත. සුමල් පෙරේරාගේ අංක තහඩු මුද්‍රණය කිරීමේ ජාත්‍යන්තර සමාගම වූයේ ජර්මනියේ UTSCH සමාගමයි.

සාමාන්‍යයෙන් මසකට අංක තහඩු පනස් දහසත් හැට දහසත් අතර ප‍්‍රමාණයක් මුද්‍රණය වන අතර එක් අංක තහඩුවක විකුණුම් මිල රුපියල් 1200 කි. මාසිකව රුපියල් මිලියන හැටක පමණ ආදායමක් උපයන ඇක්සස් සමාගම මේ ටෙන්ඩරය මඟින් මසකට රුපියල් මිලියන හතළිහක පමණ ශුද්ධ ලාභයක් උපයාගෙන ඇත. ඉදිරි වසර හතරක කාලය සඳහා අංක තහඩු මුද්‍රණය කිරීමේ ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීම නිවේදනය කරනු ලැබුවේ ඉකුත් පෙබරවාරි 29 වන දිනය. ටෙන්ඩර් කාල සීමාව අපේ‍්‍රල් 11 වන දා දක්වා සීමා කර තිබූ අතර එසේ කිරීමට හේතු වී ඇත්තේ අදාළ ටෙන්ඩරය යළිත් ඇක්සස් සමාගම වෙත ලබා ගැනීම ය. ටෙන්ඩරය ලබා ගැනීම සඳහා තවත් සමාගම් කිහිපයක් ඉදිරිපත් වීමට නියමිතව තිබිය දී ටෙන්ඩර් කැඳවීමේ කාල සීමාව ඉතා කෙටි කලකට සීමා කිරීම කුමන්ත‍්‍රණකාරී ලෙස සිදු වී ඇත. මේ හෙළිවීමෙන් පසුව සෙසු සමාගම්වල ඉල්ලීම මත ටෙන්ඩර් කැඳවීමේ කාල සීමාව මැයි මස තුන් වන දා දක්වා දීර්ඝ කර ඇත. ටෙන්ඩරය ලබා ගැනීමට ඉදිරිපත් වන සමාගම සාම්පල් තිහක නිදර්ශන ඉදිරිපත් කළ යුතුව ඇතැයි දැනගන්නට ඇත. අදාළ සාම්පල් මුද්‍රණයට කාලයක් අවශ්‍ය බැවින් ටෙන්ඩර් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කරන ලෙස කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන මෙම කල් දැමීම සිදු කර ඇත.

මෙතෙක් අංක තහඩු මුද්‍රණය කළ ඇක්සස් සමාගම අනෙකුත් ටෙන්ඩර්කරුවන් මෙම ටෙන්ඩරය ලබා ගැනීම වැළැක්වීමට ක‍්‍රියා කරන බවත් ඒ සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයකු යැයි හඳුන්වන චමින්ද සිරිසේන නමැත්තකුගේ නම යොදා ගනිමින් ඇක්සස් සමාගම රහසිගත මෙහෙයුමක් අරඹා ඇති බවත් දැනගන්නට ඇත. අංක තහඩු මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය ඇක්සස් සමාගමට ලබා දීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියකු වක‍්‍රාකාරයෙන් මැදිහත් වන බව ද දැනගන්නට ඇත.


- දයා නෙත්තසිංහ

No comments:

Post a Comment