Thursday, March 24, 2016

ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගන්වන ගයාන්

විස්සයි විස්ස ක්‍රිකට් තරඟ යනු මොහොතකින් වෙනස් විය හැකි තරඟ විශේෂයක් වන අතර දැන් පැවැත්වෙන ලෝක ශූරතා තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට යළි පෙරට පැමිණීමේ ඉඩකඩ තවමත් පවතින බව කණ්ඩායම දිරිගැන්වීමේ නිරත ගයාන් සේනානායක පවසයි.
විස්සයි විස්ස තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින අතරවාරයේ එහි සිට බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීයි ඔහු එම ප්‍රකාශය කළේ.
‘මෙම තරඟාවලිය දඟ පන්දු යවන්නන්ට වාසි දායක හෙයින් මීළඟට සහභාගී වෙන එංගලන්තය සමඟ තරඟය කෙරෙහි ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු තැබිය හැකි’ බවයි ගයාන් සේනානායක පවසන්නේ.
1999 වසරේ පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරි ගැන්වීමේ නිරත ගයාන් සේනානායක 2006 වසරේ පටන් කණ්ඩායම සමඟ විදේශ සංචාරයන්හි ද නිරත වෙන අතර ඔහු මෙවර විස්සයි විස්ස ලෝක ශූරතා ක්‍රිකට් තරඟාවලිය සඳහා ඉන්දියාවට ගොස් සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීමේ කාර්යය වෙනුවෙන් විදේශ සංචාර සඳහා සහභාගී වීම සඳහා තමාට පරිත්‍යාගශීලීන්ගේ සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනුග්‍රහය ලැබෙන බවත් ගයාන් සේනානායක පවසයි.
‘ක්‍රිකට් කියන්නේ ජීවිතය වගෙයි. කොයි මොහොතේ වෙනස් වෙයිද කියන්න බැහැ. අපි හදවතින්ම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි. දිනුවත් පැරදුනත් රට වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගන්වනවා’ ගයාන් සේනානායක පවසයි.

No comments:

Post a Comment