Thursday, March 24, 2016

‘මහින්ද සරණං ගච්ඡාමි කියන බෙංගමුවේ නාලක හිමියන්ට පියවි සිහිය නෑ‘ -පස්සරමුල්ලේ දයාවංශ හිමි

(ලංකා ඊ නිව්ස් -2016.මාර්.24, ප.ව‍.6.40) 

බුද්ධං සරණං ගච්ඡාමි වෙනුවට මහින්ද සරණං ගච්ඡාමි කියන බෙංගමුවේ නාලක හිමියන්ට පියවි සිහිය නැතැයි ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික පස්සර මුල්ලේ දයාවංශ හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති. එම නිවේදන මෙසේය.

භික්ෂූන්වහන්සේලා දේශපාලනයට ගෙන ඒමෙන් භික්ෂු ගෞරවය නැති කිරීමට චම්පික රණවක ඇතුළු නායකයන් කටයුතු කළ බවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ප්‍රකාශ කර ඇත. තවද ඕමල්පේ සෝභිත හිමියන් ශාසනයට පිලිළයක් බවද නාලක හිමියන් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

බෙගංමුවේ නාලක හිමියන් මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ පියවි සිහියෙන් නොවන බව අපගේ අදහසයි. බුද්ධං සරණං ගච්ඡාමි වෙනුවට මහින්ද සරණං ගච්ඡාමි කියන බෙංගමුවේ නාලක හිමියන් වීදුරු ගෙවල් වල සිට ගල් ගැසීම මහත් හාස්‍යයට කරුණකි. භික්ෂුන්වහන්සේලා මැතිවරණය දේශපාලනයට පැමිණිම චම්පික රණකගේවත් ජාතික හෙළ උරුමයේවත් වැඩ පිළිවෙලක් නොව එවකට රටේ තිබුණු තත්ත්වය අනුව රටම පිළිගත් ජනප්‍රිය භික්ෂුන් වහන්සේලා එකතුවකින් ගත් තීන්දුකි. එයට අවශ්‍ය සහය ලබා දීම හා පක්ෂය පුජා කිරිම අප විසින් සිදු කරන ලදි . ඒයින් රටේ දේශපාලන දිශානතිය වෙනස් කිරිමට වැඩදායි කාර්යභාර්යක් සිදුවේ ද නැද්ද යන්න මේ රටේ සබුද්ධික ජනතාව හොඳින් දන්නා කරුණකි.

පසුකාලීනව ඒ ගමනට එක් වූ ඇතැම් භික්ෂූන්වහන්සේලා රාජපක්ෂ පාලනයේ වරදාන වරප්‍රසාද වලට යට වී තම ජාතික අරමුණු පාවා දෙමින් දේශපාලන අතකොළු බවට පත්වී රාජපක්ෂ පාලනයේ හොරණෑ බවට පත්විය. බෙංගමුවේ නාලක හිමියන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය හෙබවූයේ නැතත් රාජපක්ෂ පාලනයේ තනතුරු වරදාන වරප්‍රසාද ලබාගත් හිමිනමක් බව කාටත් නොරහසකි. ජාතික ශාසනික අරමුණු වෙනුවෙන් භික්ෂුන්වහන්සේලා දේශපාලනයට පැමිණීම කිසිදු වරදක් නැතත් එයට මුවා වී නීති විරෝධී, සදාචාර විරෝධී ක්‍රියාවල නිරතවීමට භික්ෂුන් වහන්සේලාට අයිතියක් නැත. භික්ෂු ගෞරවය නැති වන්නේ නීති විරෝධී, සදාචාර විරෝධී, විනය විරෝධී භික්ෂුත්වයට නොගැලපෙන දෑ තුලින් පමණි. ජාතික හෙළ උරුමය හරහා භික්ෂුන්වහන්සේලාගේ ආගමනයෙන් රටට අවැඩක් වූයේ නැත. සිදුවූයේ යහපතක්මය. ත්‍රස්තවාදය පරාජය කිරීම, රටේ ඒකීයභාවය රැක ගැනීම, රටේ ප්‍රධාන පක්ෂ දෙකම රටේ ඒකීයභාවය පිලිගන්නා තැනට ගෙන ඒම මත්උවදුර පිටු දැකීම, වස විසෙන් තොර ගොවිතැන, ආහාර සුරක්ෂිතභාවය හා පරිසර සංරක්ෂණය වැනි ජාතික තලයේ වැඩසටහන් බවට පත් කිරීමට හැකි විය.

එවැනි විජයග්‍රහන රැසකට භික්ෂුන්වහන්සේලාගේ ආගමනය හේතු විය. එයට අකුල් හෙලු බෙංගමුවේ නාලක හිමියන් තනතුරු වරප්‍රසාද ලබාගෙන දේශපාලඥයන් වෙනුවෙන් කඩේ ගිය ආකාරය අමුතුවෙන් කිව යුතු නැත. ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රකාශනයේ කොටසක් අල්ලාගෙන ඉතා ද්වේෂසහගත ලෙස අවස්ථාවාදී ලෙස බෙංගමුවේ නාලක හිමියන් රට නොමග යැවීමට උත්සාහ කර ඇත. මෙලෙස කරුණු විකෘති කර දක්වමින් සමාජය නොමග යැවීමට බෙංගමුවේ නාලක හිමියන් දරණ උත්සාහය පිළිබඳව අපගේ බලවත් සංවේගය පළකර සිටින අතර උන්වහන්සේ පත්ව ඇති දේශපාලන ව්‍යාකූලත්වයෙන් මිදී පියවි සිහිය එළවා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කර සිටිමු.

No comments:

Post a Comment