Sunday, March 20, 2016

ලයිට් කැපිල්ලේ සුලමුල එළියට - බුද්ධි අංශ ඇත්ත කියයි

ඩී. මංජුල කුමාර

පසුගිය සතියේ වූ හදිසි විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් එය කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් යැයි සැක පහළ වීම නිසා ඒ සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශ විසින් විශේෂ පරීක්ෂණයක නිරත වන ලදී.


මෙහි දී බියගම උප මධ්‍යස්ථානයේ සිදුවීමට අදාළ එම මොහොතේ කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් සිදුව නැති බව අනාවරණය කර ගත් නමුදු දීර්ඝ කාලයක් පුරා සිදුව තිබෙන නොසලකා හැරීම මෙම විදුලිය බිඳවැටීමට හේතු වී ඇති බව වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින අතර මෙම තත්ත්වය ඇති වීම කෙරෙහි වගකිවයුතු නිලධාරීන්ගෙන් කරුණු විමසීමක් කෙරෙනු ඇති බවත් පැවසේ.
ඒ කෙසේ නමුත් මෙම විදුලි බල ක්ෂේත‍්‍රය පුරා සිදුව තිබෙන වංචා දූෂණ අක‍්‍රමිකතා ගැන තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමටත් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ඉදිකිරීම හා පසුව වූ බිඳවැටීම් හා ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැුසක් අනාවරණය කර ගැනීමටත් බුද්ධි අංශ සමත්ව ඇත.

මේ සම්බන්ධයෙන් වන මූලික වාර්තාවක් මේ වන විටත් ජනාධිපතිවරයාට ලබා දී ඇති බව ද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.

නොරොච්චෝලේ බලාගාරය පිළිබඳ යෝජනාව ඉදිරිපත් වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිව සිටි අවධියේය. මුලින් ඒ සඳහා ඉන්දියානු සමාගමක් ඉදිරිපත් වූව ද රාජපක්ෂ සමයේ දී එය චීන සමාගමක් වෙත පැවැරිණි. එම ව්‍යාපෘතිය සම්බන්ධ ගිවිසුමේ සිටම අක‍්‍රමිකතා රැසක් පැවැතිණි. මෙම ඉදිකිරීමේ දී ප‍්‍රමිතියකින් යුතුව සිදුව නොමැති අතර යොදාගත් යාන්ත‍්‍රික උපකරණ ද තත්ත්වයෙන් බාල ඒවා බව පසුව හෙළි විය. මෙහි දී විශාල වශයෙන් කොමිස් ගනුදෙනු සිදුව ඇති බවට සාක්ෂි සහිතව තොරතුරු ලැබී ඇත. එවකට සිටි විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා මේ සම්බන්ධයෙන් රහස් වාර්තා කිහිපයක්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දී තිබුණත් එය කිසිදු සැලකීමකට ලක් නොකර විසි කර දැමීමට රාජපක්ෂ මහතා කටයුතු කර තිබිණි.

එමෙන්ම මෙම තාප බලාගාරය සඳහා තත්ත්වයෙන් බාල ගල් අඟුරු ගෙන්වීම ද සිදු කර ඇති අතර රාජපක්ෂ පවුලේ සමීප ව්‍යාපාරිකයකුට එම ටෙන්ඩරය වැඩි මුදලට ලැබී තිබුණු අතර එමඟින් අයථා ලෙස රුපියල් බිලියන ගණනක් උපයාගෙන තිබිණි.

විදුලි බලාගාර හා බාල පද්ධති සාදා ප‍්‍රකෝටි ගණන් හොරකම් කරපු තක්කඩිත් අද විදුලි කප්පාදු ගැන කතා කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගිය දා හෝමාගම දී පැවසීය. වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු මෙසේ ද පැවසීය.

පසුගිය අවුරුදු 10 ක කාලය තුළ හතර වතාවක් මේ සිදුවීම වෙලා තියෙනවා. මට මතකයි 2009 අපේ‍්‍රල් මාසේ අවුරුදු කාලේ මේ සිදුවීම වුණා. ඊට පස්සේ අවුරුදු 06 ක් කිසිම සිදුවීමක් නැතිව අපි විදුලිබල මණ්ඩලය අරන් ගියා. පහුගිය මාස 06 ඇතුළත තුන් වතාවක් මේක සිද්ධ වුණා. මේක එහෙනම් මේ ඉබේ සිද්ධ වෙන්න හේතුවක් නැහැ. හය අවුරුද්දක් මොකුත් වුණේ නැත්නම් මාස 06 ක් ඇතුළත එකම දේ තුන් පාරක් සිද්ධ වෙන්න විශේෂ තත්ත්වයක් උදා වුණේ නැහැ.

No comments:

Post a Comment